2016 දෙසැම්බර් 07 වන බදාදා

ඇත්තටම ෆිදෙල් වීරයෙක්ද?

 2016 දෙසැම්බර් 07 වන බදාදා, පෙ.ව. 12:00 123

 

ඇත්ත නැත්ත සොයාගත හැකි මූලාශ්‍ර ඕනෑ තරම් අන්තර්ජාලයේ තිබුණද, මන්තර ගුරුකම් වලින් වස්කම් විස්කම් කරන අයට හිනාවෙන පිරිස අතරේ ද කැස්ත්‍රෝගේ කියුබාව යනු පැසසුම් ලැබිය යුතු රටක් යැයි මුලාවී සිටින අය දකින්නට හැකියි.  විවිධ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන අමෙරිකාවේ උගුල්වලට හසු නොවන්නට සමත් වූ පමණින් අයෙක් කීර්ති ප්‍රශංසාවට පාත්‍ර විය යුතු යැයි සිතන අය එඩ්වඩ් ස්නෝඩන් හෝ ජූලියන් අසාන්ජ්ට එවැනි තත්ත්වයක් දෙන්නට ඉදිරිපත් නොවෙති.

ඔවුන්ට කියුබන් විප්ලවය පාවා දුන් ෆිඩෙල් වීරයෙකි. කියුබන් වැසියන් 3,615 වෙඩි තබා මරා දැමූ ෆිදෙල් වීරයෙකි. ඒ හැරෙන්නට සුවිශේෂ උසාවි පිහිටුවමින් 1,253 ක් ඝාතනය කළ ෆිදෙල් වීරයෙකි. 1966 දී සිවිල් හා හමුදා සොල්දාදුවන්ගේ ලේ පයින්ට් හතක් බැගින් බලහත්කාරයෙන් ගෙන පයින්ට් එකක් /50 කට බැගින් මුදල්වලට කොමියුනිස්ට් වියට්නාමයට විකුණූ ෆිදෙල් වීරයෙකි. කියුබන් වැසියන් රටෙන් පළා යන්නට තැත් කරද්දී ඔවුනට වෙඩි තැබූ, සිරගත කළ, මරණ දණ්ඩනය නියම කළ, නැව් මුහුදුබත් කළ ෆිදෙල් වීරයෙකි. ඇමෙරිකාව අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට අමෙරිකන් සොල්දාදුවන් යවද්දී විරෝධතාවය දක්වන අයට, ඩොලර් මිලියන 500ක් දක්වා වාර්ෂික මුදල් සහනාධාර 1981 දී පටන් ලබාගනිමින් ඇන්ගෝලාවේ යුද කටයුතු සඳහා කියුබන් හමුදා යැවූ ෆිදෙල් වීරයෙකි. 


වෛද්‍යවරු, ගුරුවරු, ගොඩනැගිලි ඉදිකරන ශ්‍රමිකයන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ වෙනත් වෘත්තිකයන්ව බලහත්කාරයෙන් රටවල් 91ක සේවයට පටවා වාර්ෂිකව ඩොලර් බිලියන 8.2 ක් ලබාගත් ෆිඩෙල් වීරයෙකි. කෙටියෙන් කිව්වොත්, මිනිස්සු මැරුවාට කමක් නැත. ඔවුන්ට පළා යන්නට ඉඩ නොදුන්නාටකමක් නැත. ඔවුන්ගේ ශ්‍රමය බලහත්කාරයෙන් සොරාගත්තාට කමක් නැත. වාමාංශිකයෙක් නිසා ෆිදෙල් වීරයෙකි.


සීනි කර්මාන්තයෙන් ආදායම් ඉපැයූ වතුයායක අයිතිකරුවකුට දාව ඉපදෙන ෆිදෙල් සිය රටේ ජනතාවගෙන් තමන්ගේ සුල මුල වසන් කළේය. භූමි හෝ ගොඩනැගිලි අයිතිය සාමාන්‍ය ජනතාවට නැති රටක ඔහුට දූපතක අයිතිය තිබුණි. සුපිරි බෝට්ටු හා නිවාස 20 ක අයිතිකරැවෙක් විය. වසර 50 කට ආසන්න කාලයක් කිසිම පෞද්ගලික ව්‍යාපාරයක් තහනම් වූ රටක අමෙරිකන් ඩොලර් මිලියන 800කට වඩා පෞද්ගලික ශුද්ධ වත්කමක් තිබුණත්, ෆිදෙල් රටවැසියන්ට කිව්වේ වෙරළ ළඟ කුඩා පැළක තමන් ජීවත්වෙන බවයි. මරණ දණ්ඩනය හිමිවීම නියත නම් සැබෑ තතු හෙළිකරන්නට රටේ කිසිවකු ඉදිරිපත් වේ දැයි කියා ෆිදෙල්ගේ ගුණ වයන අය සිතන්නේ නැත.


ජනමාධ්‍ය හරහා මිනිසෙක් මරා දමන ආකාරය ප්‍රචාරය කරන්නට අයිසිස් ත්‍රස්තවාදීන් පටන් ගත්තේ මෑතක දී ය. එවැනි ත්‍රස්තවාදී ක්‍රියා ෆිදෙල් සහ චේ පටන් ගත්තේ 1959 ජනවාරියේ දී ය. පෙළ ගසා හිසට වෙඩි තබා චේ සහ ෆිදෙල් අතින් මරා දැමෙන කියුබන් වැසියන්ගේ නම් ගම් ඇතිව අන්තර්ජාලයෙන් දකින්නට හැකි වූවත් ෆිදෙල්ගේ ගුණ වයන අයට ඒවා ෆිදෙල්ට එරෙහි ප්‍රචාරක කටයුතු පමණි.


අමෙරිකන් රජය ලෝකයේ අනේක ත්‍රස්තවාදයන් වපුරන්නට සිය රටවැසියන්ගේ බදු මුදල් යොදා ගැනීම ගැන උරණ වන අමෙරිකන් වැසියෝ ප්‍රසිද්ධියේ ඒ ගැන ලොවට කියන්නට මහා ජනරැළි පවත්වමින් විරෝධතා පෙළපාලි යති. කියුබන් රටවැසියන්ගේ වෙහෙසෙන් විදෙස් ත්‍රස්තවාදීන් පෝෂණය කිරීම ගැන පෙළපාළි යන්නට කියුබාවේ කිසිවකුට අවසර නැත්තේ මන්දැයි හිතන්නට ෆිදෙල්ගේ ගුණ වයන අයට නොහැකියි.


ඔහුට හැදූ පිළිම නැහැ, ප්‍රතිමා නැහැ. ඔහුගේ නමින් වීදියක් නම් කර නැහැ, ගොඩනැගිල්ලක් නම් කර නැහැ යැයි කියමින්, ගෞරවයට ප්‍රශංසාවට පත් විය යුත්තකු හැටියට ෆිදෙල් දකින අයට ෆිදෙල් අදහන්නේ නැති අයව, කියුබාවේ සිතන්නට හැකියාව ඇති අයව, වෙඩි තබා මරා දැමීම, සිරගත කිරීම සහ ශ්‍රමික වහලුන් කරලීම පෙනෙන්නේ නැත.

 අරුණි ෂපීරෝ

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00